ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමඟ බලශක්ති අමාත්‍යාංශය විසින් ජාතික ඉන්ධන බලපත්‍රය (QR ක්‍රමය) යළි හඳුන්වා දීම, ශ්‍රී ලාංකික සමාජය තුළ දැඩි කතාබහක් සහ ඩිජිටල් අවකාශයේ සුවිශේෂී ප්‍රතිචාරයක් ඇති කර තිබේ. ‘Talkwalker’ පාරිභෝගික බුද්ධි වේදිකාව සහ ‘Mark and Comm’ ආයතනය එක්ව සිදු කළ නවතම දත්ත විශ්ලේෂණයකට අනුව, පසුගිය මාසයක කාලය තුළ මෙම මාතෘකාව සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා 64,000කට අධික සම්බන්ධතාවන් (engagements) වාර්තා වී ඇති අතර ඉන් සියයට 30කට ආසන්න ප්‍රමාණයක් සෘණාත්මක ප්‍රතිචාර වේ. පාන්දර පහට ඉන්ධන පෝලිමේ සිට තබන සටහන් සහ පුවත්පත් වාර්තා යටතේ පළවන අදහස් පිරික්සීමේදී පෙනී යන්නේ, මෙය හුදෙක් ප්‍රතිපත්තියක් පිළිබඳ සංවාදයකට එහා ගිය මහජනතාවගේ ආර්ථික පීඩනය සහ අවිශ්වාසය පිළිබඳ පැහැදිලි පිළිබිඹුවක් බවයි.
මෙම සංවාදයට 850කට අධික ස්වාධීන පුද්ගලයන් පිරිසක් සෘජුවම දායක වී ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍ය හරහා සිය අදහස් පළ කර තිබේ. විශේෂයෙන්ම මෙම දත්ත විශ්ලේෂණය මගින් පෙන්වා දෙන්නේ ඉන්ධන කෝටා ක්‍රමය වැනි ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමේදී මහජන හැඟීම් සහ ඔවුන්ගේ සැබෑ ආර්ථික අපේක්ෂාවන් තේරුම් ගැනීම ඕනෑම ආයතනයකට හෝ ව්‍යාපාරයකට අතිශය වැදගත් වන බවයි. මෙම ඩිජිටල් දත්ත හුදෙක් සංඛ්‍යාලේඛන පමණක් නොව, රටේ සාමාන්‍ය ජනතාව පවතින තත්ත්වය හමුවේ කොතරම් සංවේදීව සහ විමසිලිමත්ව පසුවන්නේද යන්න පෙන්වා දෙන කැඩපතක් බඳුය.














