වත්මන් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගෙන් පසුව මීළඟ වසරේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නායකත්වය භාරගැනීම සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෝ, දැඩි අර්බුදයකට ලක්ව ඇති එම සංවිධානය ප්‍රතිසංවිධානය කරන බවට ඊයේ (22) පොරොන්දු වූහ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව පිහිටුවන ලද මෙම වසර 80ක් පැරණි සංවිධානයේ අභිමානය සහ වැදගත්කම මෑතකාලීන ලෝක දේශපාලන අර්බුද හමුවේ පිරිහීමට ලක්ව ඇති බවට එල්ල වන විවේචන මධ්‍යයේ මෙම අදහස් පළ වී තිබේ.
දැනට මෙම ධුරය සඳහා අපේක්ෂකයින් සිව්දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර, ඉදිරියේදී තවත් පිරිසක් එක්වීමට නියමිතය. කොස්ටාරිකා හිටපු උප ජනාධිපතිනී රෙබෙකා ග්‍රින්ස්පෑන් ඒ අතර ප්‍රමුඛ චරිතයකි. ලෝක බලවතුන් විසින් සංවිධානයේ පිරිවැය කපා හැරීමටත්, වර්තමාන ලෝක ගැටලු විසඳීම සඳහා සංවිධානයේ ප්‍රායෝගික වැදගත්කම ඔප්පු කිරීමටත් නව නායකයාට බලපෑම් එල්ල කරනු ඇත. සාමය ඇති කිරීම සහ සංවර්ධන කටයුතු සඳහා සහාය වීම යන මූලික ප්‍රතිපත්ති ආරක්ෂා කරමින්, සංවිධානය වඩාත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපේක්ෂකයින් සියලු දෙනාම සිය එකඟතාව පළ කර ඇති අතර ඉරාන යුදමය වාතාවරණය ඇතුළු ගෝලීය අර්බුද හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම තීරණාත්මක වන බැවින් මෙම නව නායකත්ව පත්වීම ලෝක අවධානයට දැඩිව යොමු වී තිබේ.
















