මස කිහිපයකට පෙර යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් හානියට පත්ව ඇණහිට තිබූ ‘ඩ්රුෂ්බා’ (Druzhba) නළ පද්ධතියේ යුක්රේන කොටස හරහා රුසියානු බොරතෙල් ප්‍රවාහනය බදාදා (22) දින සිට යළි ආරම්භ වී තිබේ. මෙම තීරණයත් සමඟ හංගේරියාව විසින් යුක්රේනයට ලබාදීමට නියමිත යුරෝ බිලියන 90ක ($105.79) යුරෝපා සංගම් ණය මුදලට එරෙහිව පනවා තිබූ නිෂේධ බලය (Veto) ඉවත් කර ඇති බව වාර්තා වේ.
පසුගිය ජනවාරි මාසයේදී බටහිර යුක්රේනයේ නළ පද්ධතියට එල්ල වූ ප්‍රහාරයත් සමඟ හංගේරියාව සහ ස්ලෝවැකියාව වෙත රුසියානු තෙල් සැපයුම නතර විය. නළ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු යුක්රේනය විසින් හිතාමතා ප්‍රමාද කරන බවට හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් (Viktor Orban) මීට පෙර චෝදනා කළද යුක්රේනය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. හංගේරියානු තෙල් සමාගමක් වන MOL සමූහය ප්‍රකාශ කළේ හෙට (24) වන විට මෙම තෙල් තොග හංගේරියාවට සහ ස්ලෝවැකියාවට ලැබෙනු ඇති බවයි.
ක්‍රෙම්ලීන් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් (Dmitry Peskov) පවසන්නේ තෙල් සැපයීමට අදාළ තාක්ෂණික කරුණු මේ වන විට ආයතනික මට්ටමින් සාකච්ඡා වෙමින් පවතින බවයි. යුක්රේනය මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ මෙම දැවැන්ත ණය මුදල නිදහස් වීම එරටට විශාල අස්වැසිල්ලක් වනු ඇත.














