නයිජීරියානු ජනාධිපති බෝලා ටිනූබුගේ (Bola Tinubu) රජය ප්‍රචණ්ඩකාරී ලෙස පෙරළා දැමීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබූ හිටපු ආරක්ෂක නිලධාරීන් හයදෙනෙකු තමන් නිවැරදිකරුවන් බව බදාදා (22) අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ. අබුජා අගනුවර ෆෙඩරල් මහාධිකරණයේදී මෙම නඩු විභාගය පැවැත්වුණු අතර වැඩිදුර විභාගය අප්‍රේල් 27 වනදා දක්වා කල් තබා තිබේ.
විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු ඇතුළු මෙම සැකකරුවන්ට එරෙහිව රාජද්‍රෝහී කුමන්ත්‍රණය, තස්ත්‍රවාදය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම ඇතුළු අපරාධ චෝදනා 13ක් ගොනු කර ඇත. මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැක කෙරෙන හිටපු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ. සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම් විනිසුරු ජොයිස් අබ්දුල්මලික් (Joyce Abdulmalik) විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර නඩු විභාගය අවසන් වන තෙක් ඔවුන්ව රහස් පොලිස් (DSS) භාරයේ රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
ජනාධිපති ටිනූබු 2023 වසරේ බලයට පත්වීමෙන් පසු වාර්තා වූ බරපතළම රාජද්‍රෝහී නඩු විභාගය මෙය වන අතර නයිජීරියාවේ පවතින ආර්ථික පීඩනය සහ ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප්‍රහාර හමුවේ අභ්‍යන්තර ආරක්ෂාව දැඩි කිරීමට රජය ගෙන ඇති පියවරක් ලෙස මෙය සැලකේ. නඩුවේ බරපතළකම සලකා බලා කඩිනම් නඩු විභාගයක් පවත්වන ලෙස එරට නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.














