දශක ගණනාවක් පුරා ඇපල් (Apple) සමාගම සිය අධිරාජ්‍යය ගොඩනැගුවේ සියලු දේ තමන් යටතේ පාලනය කර ගැනීමේ ප්‍රතිපත්තිය මතය. ඔවුන්ගේම චිප්ස්, මෙහෙයුම් පද්ධති සහ යෙදුම් හරහා ඉතා ආරක්ෂිත මෙන්ම පහසුවෙන් භාවිතා කළ හැකි උපාංග ලොවට හඳුන්වා දීමට ඔවුන්ට හැකි විය. මෙම දැඩි පාලනය සහිත පරිසරය හේතුවෙන් අයිෆෝන් ඉතිහාසයේ සාර්ථකම පාරිභෝගික නිෂ්පාදනය බවට පත් වූ අතර පසුගිය වසරේ පමණක් එයින් ඩොලර් බිලියන 210ක ආදායමක් උපයා ඇත. කෙසේ වෙතත් පසුගිය දශකය පුරා ලොව වටිනාම සමාගම ලෙස ඇපල් වැජඹුණද 2024 වසරේදී කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Nvidia සමාගම විසින් ඔවුන්ව පසුකර යාමට සමත් විය.
නව AI තාක්ෂණයන් වේගයෙන් වර්ධනය වන විට ඇපල් සමාගම සතු මෙම ‘දැඩි පාලනය’ ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් විය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති. මේ හේතුවෙන් අවශ්‍ය අවස්ථාවලදී සිය ප්‍රතිවාදීන්ගේ AI තාක්ෂණයන් භාවිතා කිරීමට පවා ඇපල් සමාගම යම් කැමැත්තක් පළ කර තිබේ. AI යුගය තුළ ඇපල් සමාගම සිය අනන්‍යතාවය රැකගනිමින් නව තාක්ෂණය සමඟ ඉදිරියට යන්නේ කෙසේද යන්න මේ වන විට තාක්ෂණික ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් වී ඇත.














