Original Choice විස්කි සහ Paul John සිංගල් මෝල්ට් (Single-malt) සන්නාමයන්ට හිමිකම් කියන ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගමක් වන John Distilleries හි ඉතිරි කොටස් ද අමෙරිකානු Sazerac සමූහයට අලෙවි කිරීමට සූදානම් බව එහි නිර්මාතෘ පෝල් ජෝන් මහතා ප්‍රකාශ කළේය. Corazon ටෙකිලා සහ Svedka වොඩ්කා වැනි ජාත්‍යන්තර සන්නාමයන්ට හිමිකම් කියන Sazerac සමාගම, මේ වන විටත් John Distilleries හි 60% ක කොටස් හිමිකාරීත්වයක් දරයි.
පසුගිය වටයේදී ඉන්දියානු රුපියල් බිලියන 40 ක (ඩොලර් මිලියන 426 ක් පමණ) අගයකට තක්සේරු වූ මෙම සමාගමේ ඉතිරි කොටස් ද අලෙවි කිරීම සඳහා දෙපාර්ශවයම ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී තිබේ. මීට දශක තුනකට පමණ පෙර බෙන්ගලූරු නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ මෙම සමාගම, අයවැය මට්ටමේ සිට ඉහළ පෙළේ (Premium) මට්ටම දක්වා නිෂ්පාදන අලෙවි කරනු ලබයි. “තනිවම මට ගෙන ඒමට හැකි උපරිම මට්ටමට මම සමාගම ගෙන ආවා, මින් ඉදිරියට මෙයට විශාල සහයෝගයක් (Big daddy) අවශ්‍යයි,” යනුවෙන් පෝල් ජෝන් මහතා රොයිටර් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් සඳහන් කළේය.














