එළඹෙන මැයි දින නිවාඩු සමයේදී (Labour Day holiday) සංචාරය කිරීමට අපේක්ෂා කරන චීන සංචාරකයින් සංඛ්‍යාව පසුගිය වසරේ වාර්තා අභිබවා යනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. ඉරානයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණ ද සංචාරකයින් සිය සැලසුම් අත්හැර දමා නොමැති අතර ඒ වෙනුවට ඔවුන් කෙටි දුර සංචාර සඳහා වැඩි කැමැත්තක් දක්වයි. ‘China Trading Desk’ ආයතනයේ සමීක්ෂණවලට අනුව චීනයේ දේශීය ගුවන් ගමන් වෙන් කිරීම් පසුගිය වසරට සාපේක්ෂව සියයට 8 කින් සහ සංචාරක පැකේජ වෙන් කිරීම් සියයට 10 කින් පමණ ඉහළ ගොස් තිබේ.
ප්‍රවාහන පිරිවැය ඉතිරි කර ගැනීම සඳහා චීන වැසියන් මෙවර සිය රටේ ග්‍රාමීය ප්‍රදේශ සහ දෙවන පෙළ නගර වෙත සංචාරය කිරීමට වැඩි උනන්දුවක් දක්වන අතර විදේශ සංචාරවලදී ද පිරිවැය අවම කර ගැනීම සඳහා නැගෙනහිර ආසියාවේ ආසන්න රටවල් තෝරා ගැනීමට ඔවුන් පෙළඹී සිටිති. ඉහළ යන ජීවන වියදම හමුවේ වුවද විවේකය සහ සංචාරය සඳහා චීන වැසියන් තුළ පවතින ඉල්ලුම තවදුරටත් ස්ථාවරව පවතින බව මෙමගින් පෙනී යයි.














