ග්‍රිපන් (Gripen) ප්‍රහාරක ජෙට් යානා, සබ්මැරීන සහ මිසයිල පද්ධති නිෂ්පාදනය කරන ස්වීඩනයේ ආරක්ෂක උපකරණ නිෂ්පාදන සමූහයක් වන Saab සමාගම, මෙම වසරේ පළමු කාර්තුව සඳහා අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබේ. බ්‍රහස්පතින්දා (23) නිකුත් කළ වාර්තාවලට අනුව, සමාගමේ සියලුම ව්‍යාපාරික අංශයන්හි අලෙවිය ද්විත්ව අංකයක (Double-digit) වර්ධනයක් පෙන්නුම් කර ඇත.
පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙවර මෙහෙයුම් ලාභය 32% කින් ඉහළ ගොස් ස්වීඩන් ක්‍රෝන් බිලියන 1.92 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 208 ක් පමණ) ලෙස සටහන් විය. මෙය මූල්‍ය විශ්ලේෂකයන් මීට පෙර අපේක්ෂා කළ ක්‍රෝන් බිලියන 1.71 ක අගය සැලකිය යුතු ලෙස ඉක්මවා යාමකි. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ආරක්ෂක උපකරණ සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම සහ ලැබී ඇති විශාල ඇණවුම් ප්‍රමාණය (Order backlog) හේතුවෙන් සිය මධ්‍යකාලීන ඉලක්ක සපුරා ගැනීමට හැකි වනු ඇතැයි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මිකායෙල් ජොහැන්සන් (Micael Johansson) විශ්වාසය පළ කළේය.















