ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ප්‍රංශ සෙනෙට් සභාවේ නියෝජිත පිරිසක් පසුගියදා (අප්‍රේල් 21) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. සෙනෙට් සභික වැනීනා පෙයෝලි-ගැගින් මහත්මියගේ නායකත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිස දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩිකර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
“දිට්වා” සුළි කුණාටුවෙන් පසු ප්‍රංශය ලබා දුන් සහයෝගයට කථානායකවරයා සිය කෘතඥතාව පළ කළ අතර, වත්මන් රජය මැදපෙරදිග අර්බුදය හමුවේ මතුවූ අභියෝග සාර්ථකව කළමනාකරණය කළ ආකාරය ද පැහැදිලි කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක වෙළඳපොළක් වන ප්‍රංශය සමඟ ගුවන් සබඳතා පුළුල් කිරීම, සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ GSP+ පහසුකම හරහා ලැබෙන වෙළඳ සහයෝගය අඛණ්ඩව පවත්වා ගැනීම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු විය. මීට අමතරව සමුද්‍රීය ආරක්ෂාව සහ “නිල් ආර්ථිකය” (Blue Economy) වැනි නැගී එන ක්ෂේත්‍ර කෙරෙහි ද දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.
නියෝජිත පිරිස ශ්‍රී ලංකා-ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය ඇතුළු සාමාජිකයන් සමඟ ද වෙනම සාකච්ඡා පැවැත්වූහ. එහිදී ජල පිරිපහදු ව්‍යාපෘති, විශ්වවිද්‍යාල සහයෝගිතා, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සහ රෙදිපිළි කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල මුලපිරීම් සඳහා සහය දැක්වීමට ප්‍රංශ නියෝජිතයෝ කැමැත්ත පළ කළහ. මෙම සංචාරය දෙරටේ පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇති බව දෙපාර්ශ්වයම අවධාරණය කළහ.













