ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාම ගන්නා සාමාජිකයින් හට ජාත්‍යන්තර නාවික හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (අප්‍රේල් 22) ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව සිදු විය.
විශ්‍රාම යන නාවික සාමාජිකයින්ට ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සුදුසුකම් සහ නිපුණතා සහතික ලබා ගැනීම පහසු කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන්ම ගෝලීය සමුද්‍රීය කර්මාන්තයට ප්‍රවේශ වීමේදී අවශ්‍ය වන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සහතික ලබා ගැනීමේදී පවතින අඩුපාඩු මඟහරවා ගැනීමට ගත යුතු පියවර පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරුන් විසින් සමාලෝචනය කරන ලදී.
නාවික හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය සහ සමුද්‍රීය නියාමන අධිකාරීන් අතර සම්බන්ධීකරණය වඩාත් විධිමත් කරමින්, විශ්‍රාමික නාවික සාමාජිකයින්ට විදේශ රැකියා වෙළඳපොළට පිවිසීමට අවශ්‍ය තිරසාර රාමුවක් කඩිනමින් සකස් කිරීමට ද මෙහිදී තීරණය විය. මෙය නාවික හමුදා සාමාජිකයින්ගේ අනාගත වෘත්තීය ස්ථාවරත්වය තහවුරු කරන වැදගත් පියවරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.












