මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණය පියවීමක් ලෙස යොමු කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් පිරිසක් විසින් වංචනික ලෙස ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ‘Free Lawyers’ සංවිධානය කතානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. එම සංවිධානයේ සභාපති, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ සිදු කළ මෙම ණය ගෙවීමේදී, අදාළ මුදල ණය හිමි පාර්ශවය වෙත නොව තුන්වන පාර්ශවයක (හැකර්වරුන්ගේ) ගිණුමකට බැර වී ඇති බව එම ලිපිය මගින් පෙන්වා දී තිබේ. මෙම සිදුවීමට අදාළව දැනටමත් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය අධ්යක්ෂවරුන් දෙදෙනෙකු, අධ්යක්ෂවරුන් දෙදෙනෙකු සහ පරිගණක අංශ ප්‍රධානියෙකුගේ වැඩ තහනම් කර ඇති බව ද වාර්තා වේ.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙන්වා දෙන්නේ මෙවැනි විශාල මූල්‍ය ගනුදෙනුවක් සිදු කිරීමේදී භාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි. දැනට විමර්ශනය මෙහෙයවනු ලබන්නේ ණය ගෙවීම් පිළිබඳ වගකීම දරන අතිරේක භාණ්ඩාගාර ලේකම්වරයෙකු යටතේ වීම ගැටලු සහගත බව පවසන ඒ මහතා, මුදල් අමාත්‍යාංශයෙන් හෝ මහා භාණ්ඩාගාරයෙන් පරිබාහිර ස්වාධීන කණ්ඩායමක් විසින් මෙම විමර්ශනය සිදු කළ යුතු බව අවධාරණය කරයි. මෙම සොරකම නිසි පරිදි අනාවරණය කර ගැනීමට නම් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID), මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) හෝ විගණකාධිපතිවරයා වෙත භාර දිය යුතු බව ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වේ.
නව මුදල් පනත යටතේ ණය කළමනාකරණ කටයුතු මහ බැංකුවෙන් ඉවත් වී විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරී ඇති පසුබිමක, මෙම ආරක්ෂණ බිඳවැටීම බරපතල තත්ත්වයක් බව ‘Free Lawyers’ සංවිධානය පෙන්වා දෙයි.














