මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හේතුවෙන් මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටින ඉරාන කණ්ඩායම ඉවත් කර, ඒ වෙනුවට ඉතාලියට අවස්ථාව ලබා දෙන ලෙස ඉදිරිපත් වූ යෝජනාව ඉතාලි රජය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. ඉතාලි ක්‍රීඩා අමාත්‍ය ඇන්ඩ්‍රියා අබෝඩි (Andrea Abodi) ප්‍රකාශ කර ඇත්තේ ඉරානය වෙනුවට තම කණ්ඩායම නම් කිරීම කිසිසේත්ම උචිත නොවන බවයි.
Sky News නාලිකාව වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, ලෝක කුසලානයක් වැනි ඉහළ පෙළේ තරගාවලියකට සුදුසුකම් ලැබිය යුත්තේ ක්‍රීඩා පිටිය තුළ පෙන්වන දක්ෂතාව මත මිස මෙවැනි දේශපාලනික හෝ පරිපාලනමය මැදිහත්වීම් මත නොවන බවයි. මේ හරහා ඉතාලි පාපන්දු කණ්ඩායමේ ගෞරවය සහ ක්‍රීඩාවේ සදාචාරාත්මක වටිනාකම් සුරැකිය යුතු බව ඔහුගේ අදහස වී තිබේ.
මෙම ආන්දෝලනාත්මක යෝජනාව ඉදිරිපත් කර තිබුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීප හිතවතෙකු වන පාඔලෝ සැම්පොලි (Paolo Zampolli) විසිනි. ඉරානය තරගාවලියෙන් ඉවත් කර, සිව්වතාවක් ලෝක ශූරතාව දිනා ඇති ඉතාලියට එම හිස්වන ස්ථානය ලබා දෙන ලෙස ඔහු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) ඉල්ලා තිබුණි. කෙසේ වෙතත් ඉතාලි රජය එම ඉල්ලීම සෘජුවම බැහැර කිරීමත් සමඟ මෙම කතාබහ නිමාවට පත්ව ඇත.














