ලෝක සාමය පතා පාගමනේ යෙදෙන විදේශීය භික්ෂූන් වහන්සේලාට බාධා වන අයුරින් කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා සිය දැඩි අවධානය යොමු කර තිබේ. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ඡායාරූප ගැනීමට සහ යූටියුබ් නාලිකා සඳහා දර්ශන ලබා ගැනීමට උත්සාහ කරන පිරිස් නිසා පාගමනේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවයි.
මෙම සාම පාගමනට සමගාමීව ගමන් කිරීමට කිසිදු බාහිර පුද්ගලයෙකුට අවස්ථාව ලබා නොදෙන බවත්, මහජනතාවට මාර්ගය දෙපස රැඳී සිටිය හැකි වුවද භික්ෂූන් වහන්සේලාට බාධා වන අයුරින් ඡායාරූප ගැනීමට උත්සාහ නොකළ යුතු බවත් ඔහු අවධාරණය කළේය. එවැනි උත්සාහයන් නිසා පසුගිය දිනවල පොලිසිය සහ ඇතැම් පිරිස් අතර නොසන්සුන්කාරී තත්ත්වයන් පවා ඇති වූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
මේ අතර, මෙම සාම පාගමනට එක්ව සිටින ‘ආලෝකා’ නම් සුනඛයා ද දැනට අසනීප තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ. අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී අනාවරණය වූයේ, අදාළ සුනඛයා මේ වන විට පොලිස් නිල සුනඛ අංශයේ සහ පශු වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ ගිලන් රථයක් තුළ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි.













