මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ක ජාවාරමකට සම්බන්ධ බවට සැකපිට බස්නාහිර පළාත – උතුර අපරාධ කොට්ඨාසයේ සේවය කළ නිලධාරීන් 7 දෙනෙකුට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවා තිබේ. බස්නාහිර පළාත – උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ජී.සී. පදුමසිරි මහතා කළ ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා මෙම නියෝගය නිකුත් කරන ලදී.
මෙලෙස විදේශ ගමන් තහනමට ලක්වූ නිලධාරීන් වන්නේ ලින්ටන් ලෙනාඩ් සිල්වා, කසුන් සුභාෂණ, රංජිත් රණසිංහ, මනෝජ් ප්‍රියදර්ශන හේවාවසම්, තාරක මදුරංග අබේකෝන්, කෝලිත ලක්මාල් රාජපක්‍ෂ සහ ටෙරන්ස් සෙඩ්‍රික් පීරිස් යන පිරිසයි.
පසුගිය අප්‍රේල් 07 වන දා ගණේමුල්ල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් වැටලීමකට අදාළව මෙම නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලැබුණු තොරතුරක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත. සිද්ධියට අදාළ විමර්ශන වාර්තාවක් ද අද (අප්‍රේල් 23) අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, සැකකාර නිලධාරීන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.














