ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්ත වාර්තාවලට අනුව, 2026 මාර්තු මාසයේදී භාණ්ඩ හා සේවා අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,467.31ක් ලෙස සටහන් වී තිබේ. මෙය 2025 මාර්තු මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 80ක එනම්, 5.2%ක වාර්ෂික පහත වැටීමකි. කෙසේ වෙතත්, 2026 පෙබරවාරි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 1,346.2ක ආදායමට සාපේක්ෂව මාර්තු මාසයේදී 9.0%ක මාසික වර්ධනයක් පෙන්නුම් කිරීම සුවිශේෂී තත්ත්වයකි.
2026 වසරේ මුල් මාස තුන (ජනවාරි – මාර්තු) දෙස බැලීමේදී සමස්ත අපනයන කාර්ය සාධනය ශක්තිමත්ව පවතින බව පෙනී යයි. එම කාලය තුළ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4,308.11ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2025 වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව 1.59%ක වර්ධනයකි.
අංශ අනුව දත්ත විශ්ලේෂණය කිරීමේදී, භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,180.39ක් (4.94%ක අඩුවීමක්) ලෙසත්, සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 286.92ක් (6.26%ක පහත වැටීමක්) ලෙසත් වාර්තා වී ඇත. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ, මාර්තු මාසයේ යම් පසුබෑමක් දක්නට ලැබුණද පළමු කාර්තුව තුළ අපනයන අංශය ස්ථාවරව පවතින බවයි.














