ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාරුවන්ගේ ආයතනය විසින් සංවිධානය කරන ලද Best Management Practices Company Awards 2026 (BMPC Awards) උළෙලේදී, ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ රන් සම්මානය දිනා ගැනීමට පීපල්ස් මයික්‍රෝ කොමර්ස් ලිමිටඩ් (PML) ආයතනය සමත් වී තිබේ. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල විශිෂ්ට කළමනාකරණ ක්‍රමවේද ඇගයීම අරමුණු කරගනිමින් මෙම සම්මාන උළෙල පස්වන වරටත් අඛණ්ඩව පවත්වන ලදී.
PML ආයතනය මෙම සම්මානය සඳහා තේරී පත්ව ඇත්තේ නායකත්වය, ආයතනික උපායමාර්ග, මානව සම්පත් කළමනාකරණය සහ මෙහෙයුම් ක්‍රමවේද වැනි අංශ ගණනාවක පෙන්වන ලද විශිෂ්ටත්වය හේතුවෙනි. විශේෂයෙන්ම පසුගිය වසර තුළ සිය ණය කළඹ 225%කට අධික වර්ධනයක් වාර්තා කරමින් සමාගම අත්පත් කරගත් පරිවර්තනය මෙහිදී විශේෂ ඇගයීමට ලක් විය.
සදාචාරාත්මක ණය අයකර ගැනීම, විනිවිදභාවය සහ පාරිභෝගික කේන්ද්‍රීය නිෂ්පාදන හරහා වගකීම් සහගත ක්ෂුද්‍ර මූල්‍ය සේවාවක් සැපයීමට PML ආයතනය දක්වන කැපවීම මෙම රන් සම්මානය හරහා තහවුරු වී ඇත. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ සභාපති දුලින්ද පෙරේරා මහතා සඳහන් කළේ, වේගවත් වර්ධනයක් මෙන්ම ශක්තිමත් පාලන ක්‍රමවේද සහ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය රැකගැනීම තම ආයතනයේ මූලික අරමුණ බවයි.















