මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. මෙහිදී අනාවරණය වූයේ මෙම සයිබර් සොරකම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5කට ආසන්න මුදලක් අහිමි වී ඇති බවයි. රජය විසින් ඔස්ට්‍රේලියානු ආයතනයකට ගෙවිය යුතු වූ මෙම මුදල හැකර්වරුන් විසින් තෙවන පාර්ශ්වයක ගිණුමකට බැර කරගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණ පවත්වා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් හතර දෙනකුගේ සේවය මේ වන විට අත්හිටුවා තිබේ.
මෙම වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL-CERT) සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) එක්ව පුළුල් විමර්ශන පවත්වන අතර දේශීය හා විදේශීය විශේෂඥයන්ගේ සහය ද ඒ සඳහා ලබාගනිමින් පවතී. මෙම වසරේ ජනවාරි මාසයේදී විදේශ මුදල් ගෙවීම් සම්බන්ධ සැකකටයුතු තොරතුරු හඳුනාගැනීමත් සමඟ මෙම අනාවරණය සිදු වී ඇති අතර, සොරකම් කරන ලද මුදල් නැවත ලබා ගැනීමටත් අදාළ ඔස්ට්‍රේලියානු ආයතනය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා මඟින් එකඟතාවයකට පැමිණීමටත් රජය කටයුතු කරමින් සිටී. ඉදිරියේදී මෙවැනි සයිබර් අපරාධ වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතනවල ඩිජිටල් ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.















