ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම මූල්‍ය වාර්තාවලට අනුව, මෙරට ආර්ථිකය තුළ සංසරණය වන මුදල් ප්‍රමාණයේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරයි. 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී සංසරණයේ පවතින මුළු මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.5ක සීමාව ඉක්මවා ගොස් තිබේ.
මහ බැංකු වාර්තාවලට අනුව 2024 වසරේ රුපියල් ට්‍රිලියන 1.35ක් වූ සංසරණයේ පැවති මුළු මුදල් ප්‍රමාණය, 2025 වසර වන විට රුපියල් ට්‍රිලියන 1.56ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙහිදී කාසි සහ නෝට්ටු යන අංශ දෙකෙහිම කැපී පෙනෙන වර්ධනයක් දැකගත හැකිය. නෝට්ටු සංසරණය 2024 වසරේ පැවති රුපියල් ට්‍රිලියන 1.34 සිට 2025 වන විට රුපියල් ට්‍රිලියන 1.54 දක්වා වර්ධනය වී තිබේ. එමෙන්ම 2024 වසරේ රුපියල් මිලියන 18,652ක් වූ කාසි සංසරණය 2025 වසරේදී රුපියල් මිලියන 19,319 දක්වා ඉහළ ගොස් ඇත.
සංසරණයේ පවතින මුදල් නෝට්ටු අතරින් රුපියල් 5,000 නෝට්ටුව ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර එහි වටිනාකම 2024 වසරේ රුපියල් බිලියන 1,051 සිට 2025 දී රුපියල් බිලියන 1,235 දක්වා ඉහළ ගොස් ඇත. එසේම රුපියල් 2,000 නෝට්ටු සංසරණයේ ද විශාල වර්ධනයක් දක්නට ලැබෙන අතර එය රුපියල් මිලියන 2,284 සිට රුපියල් මිලියන 13,575 දක්වා සුවිශේෂී ලෙස ඉහළ ගොස් තිබේ. කාසි භාවිතය පිළිබඳව සලකා බැලීමේදී රුපියල් 10, 5, 2 සහ 1 යන කාසිවල සංසරණය ද සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. විශේෂයෙන් රුපියල් 10 කාසිවල වටිනාකම 2024 දී රුපියල් මිලියන 9,156 සිට 2025 දී රුපියල් මිලියන 9,717 දක්වා වර්ධනය වී ඇති බව මහ බැංකු දත්ත සනාථ කරයි. මෙම සමස්ත වාර්තාවලට අනුව පෙනී යන්නේ මෙරට මූල්‍ය පද්ධතිය තුළ සංසරණය වන නීත්‍යනුකූල මුදල් ප්‍රමාණය වසරක් තුළ සැලකිය යුතු ලෙස ප්‍රසාරණය වී ඇති බවයි.

















