2026 වසරට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබාදීම සාර්ථකව සම්පූර්ණ කර තිබේ. මෙයට අදාළ නිල සහතිකපත් හුවමාරු කිරීමේ උත්සවය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) පැවැත්වුණි.
මිලියන 4.4ක සිසුන්ට ප්‍රතිලාභ
මෙම ප්‍රදානය යටතේ රජයේ සහ රජයේ අනුමත පාසල්වල සිසුන්, පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් සහ ගිහි සිසුන් ඇතුළු මිලියන 4.4ක පිරිසකට නිල ඇඳුම් හිමිවේ. සමස්තයක් ලෙස රෙදි මීටර් මිලියන 11.484ක් චීනය විසින් ලබා දී ඇති අතර, ඊට අදාළ ලේඛන අග්‍රාමාත්‍යවරිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං (Qi Zhenhong) මහතා අතර හුවමාරු විය.
නොබිඳෙන මිත්‍රත්වයේ සංකේතයක්
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය මෙහිදී අවධාරණය කළේ නිල ඇඳුමක් යනු හුදු ඇඳුමක් පමණක් නොව, එය දරුවන්ගේ ගෞරවය සහ සමානාත්මතාවය තහවුරු කරන සාධකයක් බවයි. කිසිදු ප්‍රමාදයකින් තොරව මෙම කටයුත්ත නිම කිරීම පිළිබඳව ඇය සියලු නිලධාරීන්ට ස්තූතිය පළ කළාය.
චීන තානාපතිවරයා පෙන්වා දුන්නේ පසුගිය වසර 4ක කාලය පුරාම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවයි. මීට අමතරව ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සහ ශිෂ්‍යත්ව ලබාදීම හරහා ද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සහය වීමට චීනය සූදානම් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.














