සෝවියට් දේශයේ හිටපු නායක ජෝසප් ස්ටාලින්ගේ පාලන සමයේදී ඝාතනයට ලක්වූ පිරිස් සිහිපත් කිරීම සඳහා රුසියාවේ සයිබීරියානු ප්‍රදේශයේ ඉදිකර තිබූ ස්මාරක පද්ධතියක් හිටිහැටියේම ඉවත් කර තිබේ. රුසියාවේ ටොම්ස්ක් නගරයේ පිහිටා තිබූ මෙම ස්මාරක එක රැයකින් අතුරුදන් වී ඇති අතර පෝලන්තය, එස්තෝනියාව, ලිතුවේනියාව සහ ලැට්වියාව යන යුරෝපීය රටවල් හතරක් මේ සම්බන්ධයෙන් රුසියාවට සිය දැඩි විරෝධය පළ කර ඇත. ස්ටාලින්ගේ රහස් පොලිසිය විසින් 1937 සහ 1938 කාලසීමාවන් තුළදී සිදුකළ “මහා භීෂණය” යටතේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඝාතනයට ලක්වූ අතර මෙම ස්මාරකය ඉදිකර තිබුණේ එම වින්දිතයන් සිහිපත් කිරීම සඳහාය.
මෙම ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් නගරාධිපති කාර්යාලය මුලින් පවසා තිබුණේ ඒ අසල පිහිටි ගොඩනැගිල්ලක් කඩා වැටීමේ අවදානමක් පවතින නිසා එය ඉවත් කළ බවයි. කෙසේ වෙතත් පසුව එම නිවේදනය ඉවත් කර ගත් බලධාරීන් මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා සෝවියට් මර්දනය පිළිබඳ දත්ත රැස් කරන “මෙමෝරියල්” මානව හිමිකම් සංවිධානය අන්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර තහනම් කිරීමටද පියවර ගෙන තිබුණි.
රුසියාවේ වත්මන් පාලනය විසින් පැරණි අපරාධවල මතකය මැකීමට උත්සාහ කරන බවට විදේශ තානාපති කාර්යාල චෝදනා කරන අතර ඉතිහාසය ආරක්ෂා කිරීම අපරාධ නැවත සිදුවීම වැළැක්වීමට අත්‍යවශ්‍ය බව ඔවුන් පෙන්වා දෙයි. එහෙත් රුසියානු බලධාරීන් පවසන්නේ බටහිර රටවල් රුසියාවේ ඉතිහාසය දේශපාලන අවියක් ලෙස භාවිතා කරමින් වත්මන් රජය විවේචනය කරන බවයි. මොස්කව් නුවර පිහිටි තවත් ප්‍රධාන ස්මාරකයක් වන “සොලොවෙට්ස්කි ස්ටෝන්” සම්බන්ධයෙන්ද රුසියානු දේශපාලනඥයන් පරීක්ෂණ ඉල්ලා සිටීමත් සමඟ මෙම මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ.














