මෙක්සිකෝවේ ආර්ථික අමාත්‍ය මාර්සෙලෝ එබ්‍රාඩ් මහතාට එරෙහිව එරට රජය විසින් නිල විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙක්සිකෝ ජනාධිපතිනි ක්ලෝඩියා ෂෙයින්බෝම් මහත්මිය ප්‍රකාශ කළේ අමාත්‍යවරයාගේ වැඩිමහල් පුත්‍රයා බ්‍රිතාන්‍යයේ මෙක්සිකානු තානාපති නිල නිවසේ පදිංචිව සිටීම හරහා කිසියම් නීතියක් හෝ රෙගුලාසියක් උල්ලංඝනය වී ඇත්ද යන්න මෙහිදී පරීක්ෂා කරන බවයි. මාර්සෙලෝ එබ්‍රාඩ් මහතා මීට පෙර විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2021 සහ 2022 කාලසීමාවන් තුළ ඔහුගේ පුත්‍රයා මාස හයක පමණ කාලයක් ලන්ඩන් නුවර තානාපති නිවසේ නැවතී සිට ඇති බව වාර්තා වේ.
එම කාලය තුළ අමාත්‍යවරයාගේ පුත්‍රයා වෙනුවෙන් සූපවේදීන්, පිරිසිදු කරන්නන් සහ සේවක මණ්ඩලයක් පවා තානාපති නිවසේ පහසුකම් යටතේ සේවය කර ඇති බව විදේශීය පුවත්පත් අනාවරණය කරයි. කෙසේ වෙතත් අමාත්‍යවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ සිය පුත්‍රයාගේ අධ්‍යාපන කටයුතු සඳහා පියෙකු ලෙස සැලකිලිමත් වූවා මිස කිසිදු රජයේ මුදලක් මේ සඳහා අවභාවිත කර නොමැති බවයි. මෙක්සිකෝවේ දූෂණ මර්දන අමාත්‍යංශය හරහා මෙම පරීක්ෂණ කටයුතු ස්වයංක්‍රීයව ආරම්භ වූ බව ජනාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම පරීක්ෂණය හේතුවෙන් ජනාධිපතිනිය සහ අමාත්‍යවරයා අතර යම් දේශපාලන නොසන්සුන්තාවක් ඇති වීමේ අවදානමක් පවතින බව දේශපාලන විචාරකයෝ පවසති. මාර්සෙලෝ එබ්‍රාඩ් සහ ක්ලෝඩියා ෂෙයින්බෝම් පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රධාන ප්‍රතිවාදීන් ලෙස කටයුතු කළ පිරිසක් වීම මෙයට හේතුවයි. විශේෂයෙන්ම ඇමෙරිකාව සහ කැනඩාව සමඟ පවතින තීරණාත්මක වෙළඳ සාකච්ඡාවලට මෙක්සිකෝව වෙනුවෙන් නායකත්වය දෙන්නේ ආර්ථික අමාත්‍යවරයා බැවින් මෙම විමර්ශනය රටේ ආර්ථික ගමන් මගට කෙලෙස බලපානු ඇත්ද යන්න පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.
















