අමෙරිකානු නාවික හමුදාව විසින් ඉරාන වරායන් අවහිර කිරීමට පියවර ගැනීම හේතුවෙන් දෙරට අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ සාම සාකච්ඡා බිඳ වැටී ඇති බවට පාකිස්තාන බලධාරීන් අමෙරිකාවට දොස් පවරා තිබේ. නිකී ඒසියා පුවත් සේවය වාර්තා කරන පරිදි අමෙරිකාව සහ ඉරානය අතර පැවති සති දෙකක සටන් විරාමය අවසන් වීමට දින දෙකකට පෙර දෙවන වටයේ සාකච්ඡා ආරම්භ කිරීමට පාකිස්තානය සූදානමින් සිටියද ඉරාන නියෝජිතයන් ඊට එක්වීම ප්‍රතික්ෂේප කර ඇත. ඉරාන මුහුදු සීමාව අවහිර කිරීම අත්හිටුවීමට අමෙරිකාව පියවර නොගැනීම මෙම තීරණයට හේතු වී තිබේ.
ඉරානයට පැමිණෙන සහ ඉන් පිටවන නෞකාවලට අමෙරිකානු නාවික හමුදාව බාධා කිරීම සාකච්ඡාවෙන් ඉවත් වීමට ප්‍රධාන හේතුව බව ඉරාන රජය ද තහවුරු කර ඇත. අමෙරිකාවේ මෙවැනි හිරිහැර කිරීම්වලට තමන් කිසිසේත්ම යටත් නොවන බව ඉරානය අවධාරණය කරන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගාර් ගලිබා ප්‍රකාශ කර ඇත්තේ මෙම අවහිරතා අඛණ්ඩව සිදුවන්නේ නම් දෙරට අතර සම්පූර්ණ සටන් විරාමයක් ඇති වීමට ඉඩක් නොමැති බවයි. මැදපෙරදිග කලාපයේ පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වය ජාත්‍යන්තර දේශපාලන ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී.















