පසුගිය වසරේ මැයි මාසයේදී කේරළ වෙරළට ඔබ්බෙන් මුහුදුබත් වූ ‘එල්සා 3’ නෞකාවෙන් මුහුදට එක්වූ ප්ලාස්ටික් පබළු (Plastic pellets) ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට දිගින් දිගටම ගොඩගැසීම හේතුවෙන් ඒවා පිරිසිදු කිරීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. මේ වන විට ඩෙල්ෆ් දූපතේ සිට ඒ අවට දූපත් කරාත්, මන්නාරම, කල්පිටිය, පුත්තලම, හලාවත, මීගමුව සහ කොළඹ සිට ගාල්ල දක්වා වූ වෙරළ තීරයන් වෙතත් මෙම ප්ලාස්ටික් පබළු ගොඩගසා ඇති බව බලධාරීහු පවසති. මෙම පාරිසරික දූෂණය අවම කිරීම සඳහා වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු වේගවත් කර ඇති අතර උච්චිමුනෙයි දූපත ආශ්‍රිතව ද මෙහෙයුම් ආරම්භ කර ඇත.
මෙම පිරිසිදු කිරීමේ කටයුතු සඳහා දෛනික වැටුප් පදනම මත ප්‍රදේශයේ ධීවර ජනතාවගේ සහය ලබා ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කර තිබේ. පසුගියදා එම අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර සහ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු නිලධාරී කණ්ඩායමක් මෙන්ම අදාළ නෞකා සමාගම්වල සහ රක්ෂණ සමාගම්වල නියෝජිතයන් පිරිසක් පීඩාවට පත් ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. මෙරට වෙරළ පද්ධතියට සිදු වී ඇති හානිය අවම කරමින් මෙම පිරිසිදු කිරීමේ මෙහෙයුම් විධිමත්ව හා කඩිනමින් අවසන් කිරීම බලධාරීන්ගේ අපේක්ෂාවයි.














