මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ මීළඟ පරම්පරාවේ Surface Pro සහ Surface Laptop නිෂ්පාදන දියත් කිරීමේ කාලසටහන මසකින් පමණ ප්‍රමාද විය හැකි බවත්, එහි මිල ගණන් ඉතා ඉහළ අගයක් ගනු ඇති බවත් නවතම වාර්තා පෙන්වා දෙයි.
ප්‍රසිද්ධ තොරතුරු කාන්දු කරන්නෙකු වන රෝලන්ඩ් ක්වාන්ඩ් (Roland Quandt) පෙන්වා දෙන පරිදි, මැයි මාසයේදී බලාපොරොත්තු වූ Intel ප්‍රොසෙසර සහිත මාදිලි සහ ජූනි මාසයේදී බලාපොරොත්තු වූ Snapdragon මාදිලි දියත් කිරීම තවත් මසකින් පමණ පස්සට ගොස් තිබේ. ඒ අනුව බොහෝ විට ජූනි මස මුලදී පැවැත්වෙන ‘Microsoft Build 2026’ සමුළුවේදී මෙම නිෂ්පාදන එළිදැක්වීමට ඉඩ ඇත.
වෙළඳපොළ වඩාත් අවධානය යොමු කර ඇත්තේ මෙහි මිල ගණන් කෙරෙහි ය. ඇතැම් වාර්තා පවසන්නේ “කිසිවෙකුට මිලදී ගැනීමට නොහැකි තරම්” ඉහළ මිලක් මෙයට නියම විය හැකි බවයි. ඇතැම් යුරෝපීය සිල්ලර වෙළෙන්දන් අතරින් ලැබෙන තොරතුරු අනුව පවතින මාදිලිවලට වඩා ඩොලර් 500ක පමණ මිල ඉහළ යාමක් පවා බලාපොරොත්තු විය හැකිය. මෙම මිල ඉහළ යාමට මතක චිප් (Memory) සැපයුම් ගැටලු සහ සැපයුම් දාමයේ පවතින පීඩනය හේතු වී ඇතැයි පැවසේ.
මෙම මිල ඉහළ යාමත් සමඟ මයික්‍රොසොෆ්ට් Surface නිෂ්පාදනවලට වඩා ඇපල් (Apple) සමාගමේ MacBook නිෂ්පාදන මිලෙන් අඩු සහ ආකර්ෂණීය විකල්පයක් වනු ඇති බවට ක්ෂේත්‍රයේ විචාරකයෝ මත පළ කරති. නිෂ්පාදනයේ පවතින තරඟකාරීත්වයට වඩා එහි අධික මිල පාරිභෝගිකයන්ට ප්‍රධාන බාධාවක් වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.














