සෙංකඩගලපුර ඓතිහාසික දළදා මාලිගාව අභියස අද (24) පෙරවරුවේ අමුතුම ආකාරයේ නොසන්සුන්කාරී, එහෙත් ඉමහත් භක්තිමත් වාතාවරණයක් නිර්මාණය වුණා. ලෝකයම පතන වටිනාම සම්පත වන “සාමය” වෙනුවෙන් තම ජීවිතය කැප කළ පිරිසක් වෙනුවෙන් ගෞරව දක්වන්නට, ජාති ආගම් භේද ඉවත ලා සිංහල, දෙමළ, මුස්ලිම් දහස් සංඛ්‍යාත ජනකායක් මඟ දෙපස රොක් වූයේ මුළු රටටම ප්‍රබල පණිවුඩයක් ලබා දෙමිනුයි. මේ මහා ජනගඟ මැදින් මතුවූයේ ඇමරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් පුරා ලෝක සාමය පතා පා ගමනට නායකත්වය දුන් ජාත්‍යන්තර කීර්තියට පත් පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නයයි.
දඹුල්ලේ සිට කොළඹ ගංඟාරාම විහාරය දක්වා ක්‍රියාත්මක වන මෙම “ඒහි පස්සිකෝ සාම පාගමනේ” තෙවන දිනය වූ අද, ජනතාව පුදුමයට පත් කරමින් මෙම ඓතිහාසික අවස්ථාවට උභය විහාරික මහා සංඝරත්නය සමඟ හදිසියේම එක්වූයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියයි. අග්‍රාමාත්‍යවරිය සහ පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය ප්‍රථමයෙන් දළදා වහන්සේ වැඳ පුදා ගෙන ආගමික වතාවත්වල නිරත වූ අතර, අනතුරුව දළදා මාළිගයේ පත්තිරිප්පුව අභියස විශේෂ පීඨිකාවත් මත හිඳිමින් මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කර සාම පාගමනට ආශිර්වාද එක් කළා.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී. අබේකෝන්, දියවඩන නිලමේ නිලංග දෑළ බණ්ඩාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින් රැසකගේ සහභාගීත්වයෙන් දළදා මාළිගය අසලින් ඇරඹි අද දින සාම පාගමන මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයෙන් අවසන් වුණා. ලෝක සාමය වෙනුවෙන් දියත් වූ මෙම ජාත්‍යන්තර ගමන එළඹෙන අප්‍රේල් 28 වන දින නිමාවට පත්වීමට නියමිත අතර, රටේ අග්‍රාමාත්‍යවරියත්, විවිධ ආගමිකයින් සහ මහජනතාවත් භේදකාරී ලෝකයක සාමය උදෙසා මෙලෙස එකට එක්වීම ශ්‍රී ලංකාවෙන් ලොවට ලබාදෙන උතුම්ම සාමයේ පණිවුඩයයි.















