ඉන්දියාවේ රන් සැපයුම සීමා වීම හේතුවෙන් එරට රන් සඳහා අය කෙරෙන අතිරික්ත ගාස්තු (Premiums) සති 10කින් පසු ඉහළම අගය වාර්තා කර ඇති බව රොයිටර් පුවත් සේවය අද (24) වාර්තා කළේය. රජය විසින් ආනයන බලපත්‍ර ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් රන් සහ රිදී තොග විශාල ප්‍රමාණයක් රේගුවේ සිරවී පැවතීම මෙම සැපයුම් හිඟයට ප්‍රධානතම හේතුව වී තිබේ.
අදාළ බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබුණද, රන් ආනයනය මත පනවන බදු සම්බන්ධයෙන් පවතින අවිශ්චිතතාවය හේතුවෙන් බැංකු තවදුරටත් රන් ආනයනය කිරීමට මැළිකමක් දක්වන බව මුම්බායි නුවර රන් වෙළෙඳුන් පවසති. මේ අතර, චීනයේ රන් සඳහා පවතින ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර එරට රන් අතිරික්ත ගාස්තු ද ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, ගෝලීය වෙළඳපොළේ රන් මිල මෙම සතිය තුළ යම් පහත වැටීමක් පෙන්නුම් කර ඇති අතර, ඉරාන යුදමය වාතාවරණය හමුවේ ආයෝජකයන් ලෝක වෙළඳපොළේ වෙනස්කම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවේ.














