නේටෝ (NATO) හමුදා සන්ධානය කෙරෙහි පවතින ඇමරිකානු කැපවීම පිළිබඳ සැක සංකා මතු වෙමින් පවතින පසුබිමක, යුරෝපා සංගමයේ “පරස්පර සහයෝගිතා වගන්තිය” (Mutual Assistance Clause) ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ මූලික සැලසුමක් සකස් කරන ලෙස යුරෝපීය නායකයන් සිය නිලධාරීන්ට උපදෙස් දී තිබේ. සයිප්‍රස් රාජ්‍යයේ නිකොසියා නුවර අද (24) පැවැති සමුළුවකදී මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඉරානය සමඟ පවතින යුද්ධයට සහය නොදැක්වීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ සංවිධානය දැඩි ලෙස විවේචනය කිරීමත්, නේටෝවේ මූලික පදනම වන ‘5 වන වගන්තිය’ (Article 5) ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඔහු තුළ පවතින අවිශ්චිතතාවත් මෙලෙස යුරෝපය තුළ නව ආරක්ෂක විකල්ප සෙවීමට හේතු වී තිබේ. නේටෝවේ 5 වන වගන්තිය මඟින් සාමාජික රටකට එල්ල වන ප්‍රහාරයකදී සියලුම රටවල් එක්ව සහය දිය යුතු වුවද, ට්‍රම්ප්ගේ ප්‍රකාශ හමුවේ එම සහතිකය පිළිබඳව යුරෝපීය නායකයන් තුළ බියක් හටගෙන ඇත.
මේ වන තෙක් යුරෝපා සංගමයේ පරස්පර සහයෝගිතා වගන්තිය ක්‍රියාත්මක කිරීම සඳහා නේටෝවට මෙන් විධිමත් සැලසුම් සකස් වී නොතිබුණි. නමුත් වත්මන් භූ-දේශපාලනික තත්ත්වය සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිවල වෙනස්වීම් හමුවේ, යුරෝපයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ස්වාධීන සහ ශක්තිමත් ආරක්ෂක වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩිව මතුව පවතී.














