ඇමෙරිකානු මහ බැංකුවේ (Federal Reserve) ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ වියදම් අධික වීම සම්බන්ධයෙන් එහි සභාපති ජෙරොම් පවෙල්ට එරෙහිව පවත්වාගෙන ගිය අපරාධ පරීක්ෂණය නතර කිරීමට එරට යුක්ති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ වෙනුවට මහ බැංකුවේ පරීක්ෂක ජනරාල්වරයා යටතේ අභ්‍යන්තර පරීක්ෂණයක් පමණක් පවත්වන බව ඇමෙරිකානු නීතිඥ ජෙනීන් පිරෝ ප්‍රකාශ කළාය.
මෙම පරීක්ෂණය ආරම්භ වූයේ මහ බැංකු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සඳහා යන වියදම ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළ යාම පදනම් කරගනිමිනි. කෙසේ වෙතත්, මෙය ජනාධිපති ඩොලර් ට්‍රම්ප් සහ ජෙරොම් පවෙල් අතර පවතින දිගුකාලීන අමනාපයේ ප්‍රතිඵලයක් බව බොහෝ දෙනාගේ මතයයි. විශේෂයෙන්ම පොලී අනුපාත අඩු කරන ලෙස ට්‍රම්ප් කළ ඉල්ලීම් පවෙල් විසින් ප්‍රතික්ෂේප කිරීම මෙම ගැටුමට මූලික හේතුව වී තිබේ.
ජෙරොම් පවෙල්ගේ ධුර කාලය මැයි 15 වනදායින් අවසන් වීමට නියමිත අතර, ට්‍රම්ප් විසින් එම ධුරය සඳහා කෙවින් වෝෂ් (Kevin Warsh) නම් කර ඇත. මෙම නාමයෝජනාව ස්ථිර කිරීම සඳහා සෙනෙට් මණ්ඩලයේ සහාය ලබා ගැනීමට නම් පවෙල්ට එරෙහි පරීක්ෂණ නතර කළ යුතු බවට රිපබ්ලිකන් සෙනෙට් සභික තොම් ටිලිස් කළ බලපෑම මෙම තීරණයට ප්‍රධාන හේතුවක් වූ බව වාර්තා වේ.
මෙම පරීක්ෂණය “පෙර නොවූ විරූ” එකක් ලෙස හැඳින්වූ පවෙල්, මෙය මහ බැංකුවේ ස්වාධීනත්වයට එල්ල වූ තර්ජනයක් බව පවසා තිබුණි. දේශපාලන බලපෑම්වලින් තොරව ආර්ථික දත්ත මත පදනම්ව පොලී අනුපාත තීරණය කිරීමේ අයිතිය සුරැකිය යුතු බව ඔහු අවධාරණය කළේය. පවෙල්ගේ ධුර කාලය අවසන් වූ පසු කෙවින් වෝෂ් එම ධුරයට පත්වන තෙක් පවෙල් තවදුරටත් සේවයේ රැඳී සිටීමට සැලසුම් කර ඇත.














