ආර්ජන්ටිනාවේ හිටපු ජනාධිපතිනියක සහ එරට විපක්ෂ නායිකාවක වන ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් ද කර්ච්නර්ට එරෙහිව පවතින දූෂණ චෝදනා නඩුවකට අදාළව ඇයගේ දේපළ රාජසන්තක කිරීමට එරට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. රජයේ මාර්ග ව්‍යාපෘති තම හිතවතෙකුට ලබා දීම හරහා සිදුකළ වංචාවකට අදාළව ඇයට දැනටමත් වසර හයක සිරදඬුවමක් නියම වී ඇති අතර, මෙම නව නියෝගය නිකුත් කර ඇත්තේ එම වංචාවෙන් රජයට සිදු වූ ඩොලර් මිලියන 500ක පාඩුව අයකර ගැනීම සඳහායි.
වයස අවුරුදු 70 ඉක්මවා ඇති බැවින් දැනට බියුනස් අයර්ස්හි පිහිටි සිය නිවසේ සිට නිවාස අඩස්සියේ දඬුවම් විඳින කර්ච්නර්, එම ස්ථානයේ සිටම සිය “Peronist Justicialista” පක්ෂය මෙහෙයවනු ලබයි. අධිකරණ නියෝගයෙන් ගැලවීම සඳහා ඇය සතු හෝටල් සහ මහල් නිවාස ඇතුළු දේපළ රැසක් සිය දරුවන්ගේ නමට පවරා දීමට මීට පෙර උත්සාහ කර තිබූ නමුත්, අධිකරණය එම උත්සාහයන් නිෂ්ප්‍රභ කරමින් මෙම රාජසන්තක කිරීමේ නියෝගය තහවුරු කර ඇත.
ආර්ජන්ටිනාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය වසරේදී ඇයට මැතිවරණවලට ඉදිරිපත් වීම ද තහනම් කරන ලදී. මෙම දේපළ රාජසන්තක කිරීමේ තීරණය එරට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කැළඹීමක් ඇති කර තිබේ. කර්ච්නර්ගේ නීතිඥ කණ්ඩායම මෙම නියෝගයට එරෙහිව තවදුරටත් අභියාචනා ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ද වාර්තා වේ.














