වසර හතරක පමණ කාලයක් පුරා පවතින යුක්රේන-රුසියානු යුද්ධයේ තවත් තීරණාත්මක පියවරක් ලෙස, දෙපාර්ශවය අතර යුද සිරකරුවන් 386 දෙනෙකු හුවමාරු කර ගැනීමට පියවර ගෙන තිබේ. මෙහිදී යුක්රේනය සහ රුසියාව යන රටවල් දෙකම සිය භාරයේ සිටි සිරකරුවන් 193 දෙනා බැගින් නිදහස් කළ බව නිල වශයෙන් තහවුරු කර ඇත. මෙම මානුෂීය මෙහෙයුම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සෘජුවම මැදිහත් වී පහසුකම් සපයා දී තිබේ.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සිය ටෙලිග්‍රෑම් ගිණුම හරහා සඳහන් කළේ, සිය රටේ වැසියන් නැවත මව්බිමට පැමිණීම ඉතා වැදගත් ජයග්‍රහණයක් බවයි. නිදහස ලැබූ පිරිස අතර සොල්දාදුවන්, දේශසීමා ආරක්ෂකයින් සහ පොලිස් නිලධාරීන් සිටින අතර, ඔවුන්ගෙන් පිරිසක් තුවාල ලබා සිටි බව ද වාර්තා වේ. නිදහස ලබා නැවත මව්බිමට පැමිණි යුක්රේන වැසියන් සිය රටේ ජාතික ධජය දරාගෙන අතිශය හැඟීම්බරව එම අවස්ථාව සමරනු දක්නට ලැබුණි.
වසර හතරක් පුරා දිවෙන මෙම යුද්ධය තුළ දෙරටම මීට පෙර ද අවස්ථා කිහිපයකදීම සිරකරුවන් දහස් ගණනක් හුවමාරු කරගෙන ඇත. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ද මෙම සිරකරුවන් හුවමාරුව සඳහා ඇමෙරිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබා දුන් සහයෝගය අගය කර තිබේ. මෙම හුවමාරුව සිදුවන අවස්ථාවේදී වසර තුනකට ආසන්න කාලයක් සිරභාරයේ සිටි සර්හිය් නමැති යුක්රේන සෙබළෙකු පවසා සිටියේ, මව්බිමේ අහස සහ ගස් දැකීමට ලැබීම වචනයෙන් විස්තර කළ නොහැකි සතුටක් බවයි.














