උතුරු ජපානයේ ඉවාතේ (Iwate) ප්‍රාන්තයේ දින හතරක සිට ඇවිලෙන ලැව්ගිනි පාලනය කිරීම සඳහා සහන සේවකයින් 1,000කට අධික පිරිසක් ගොඩබිමින් සහ ගුවන් මගින් දැඩි මෙහෙයුමක නිරතව සිටිති. විශේෂයෙන්ම ඔට්සුචි (Otsuchi) නගරයේ ජනාවාස දෙසට ගින්න ව්‍යාප්ත වෙමින් පවතින අතර, එම නගරයේ පදිංචිකරුවන්ගෙන් තුනෙන් එකකට පමණ වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස නියෝග කර තිබේ. පසුගිය බදාදා පස්වරුවේ ආරම්භ වූ මෙම ලැව්ගින්න ප්‍රදේශ දෙකක් ඔස්සේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදේශ වාර්තා සඳහන් කරයි.
ගිනි නිවන හමුදා භටයින් 1,225ක් පමණ මේ වන විට මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර, ස්වයං ආරක්ෂක බලකායට අයත් හෙලිකොප්ටර් යානා මගින් අඛණ්ඩව ජලය ඉසීම සිදු කෙරේ. මේ වන විට හෙක්ටයාර 730කට අධික භූමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති අතර නිවාස 1,541කට අයත් පුද්ගලයන් 3,233 දෙනෙකුට සිය නිවෙස්වලින් ඉවත් වීමට උපදෙස් දී ඇත. දැනට ගොඩනැගිලි අටක් පමණ ගින්නෙන් විනාශ වී ඇතත් කිසිදු මරණයක් වාර්තා වී නොමැති අතර, ඉදිරි සතිය පුරා ප්‍රදේශයට වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවයි.














