පාකිස්ථානයේ සංචාරයක නිරත වන ඉරාන නියෝජිත පිරිස සහ අමෙරිකානු නියෝජිතයන් අතර කිසිදු හමුවක් සැලසුම් කර නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බගායි මහතා එක්ස් (X) පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දෙරට අතර සෘජු සාකච්ඡා පැවැත්වීමේ කිසිදු සූදානමක් නොමැති අතර ඉරානයේ ස්ථාවරය පාකිස්ථාන නිලධාරීන් හරහා දැනුම් දෙනු ඇති බවයි. කලාපය තුළ සාමය ස්ථාපිත කිරීම සහ යුදමය තත්ත්වයන් අවසන් කිරීම සම්බන්ධයෙන් පාකිස්ථානය සිදුකරන මැදිහත්වීම් පිළිබඳව එරට රජය සමඟ සාකච්ඡා කිරීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා මේ වන විට පාකිස්ථානයට පැමිණ සිටී.
කෙසේ වෙතත්, ධවල මන්දිරය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ජැරඩ් කුෂ්නර් සහ ස්ටීව් විට්කොෆ් යන අමෙරිකානු නියෝජිතයන් ඉරානය සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් ඉස්ලාමාබාද් නුවර බලා පිටත්ව යන බවයි. මෙම පරස්පර ප්‍රකාශ හමුවේ වුවද, ඉරානය පවසන්නේ තම විදේශ අමාත්‍යවරයාගේ සංචාරය හුදෙක් පාකිස්ථාන බලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සහ කලාපීය ගැටලු සාකච්ඡා කිරීමට පමණක් සීමා වන බවයි. කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් පාකිස්ථානයේ මැදිහත්වීම ඉරානය අගය කරන බව ද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.














