ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (24) රාත්‍රියේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර වෙත පැමිණ තිබේ. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික ගැටලු නිරාකරණය කරගැනීම සඳහා වන සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමයි. ඉරානය විසින් ඇමරිකාවේ ඉල්ලීම් සපුරාලිය හැකි ආකාරයේ විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද තහවුරු කර ඇතත්, එහි අන්තර්ගතය පිළිබඳව තවමත් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.
මෙම සාකච්ඡා සඳහා ඇමරිකාව ද සිය ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් යොමු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් යන විශේෂ නියෝජිතයන් අද (25) උදෑසන පාකිස්තානය බලා පිටත්ව ගොස් ඇති අතර, ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් මහතා ද මෙම සාකච්ඡා වටයට එක්වීමට නියමිත බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යාංශය මුලදී ප්‍රකාශ කර තිබුණේ තමන් ඇමරිකානු නියෝජිතයන් හමුවීමට සැලසුම් කර නොමැති බවයි. නමුත් පාකිස්තානය මැදිහත් වී දෙරට අතර පවතින ආතතිමය තත්ත්වය සමනය කිරීම සඳහා මෙම තීරණාත්මක සාකච්ඡා වටය සංවිධානය කර ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














