ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති “Walk for Peace” හෙවත් සාම පාගමනට ගෞරව දැක්වීම සඳහා මාර්ග දෙපස රැස්වන ජනතාවගෙන් ඉතා විනයානුකූලව සහ සංයමයෙන් යුතුව හැසිරෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය විශේෂ ඉල්ලීමක් කරයි. වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විදේශීය දූත පිරිසගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ පාගමනට බාධාවකින් තොරව සිදුකිරීමට මහජන සහාය අත්‍යවශ්‍ය බව පොලිසිය අවධාරණය කරයි. මෙම පාගමන පසුගිය අප්‍රේල් 21 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අභියසින් ආරම්භ වූ අතර, එය අප්‍රේල් 28 වන දින කොළඹ නිදහස් චතුරස්‍රයෙන් අවසන් වීමට නියමිතය.
ලොව පුරා ප්‍රසිද්ධියට පත් “ආලෝකා” සුනඛයා ද මෙම පාගමනට එක්ව සිටින අතර, මාර්ගය දෙපස සිටින ජනතාව සත්වයා ස්පර්ශ කිරීමට උත්සාහ කිරීම, අනවශ්‍ය ලෙස තෙරපීම සහ ඡායාරූප ගැනීමට උත්සාහ කිරීම වැනි සිදුවීම් වාර්තා වී තිබේ. මෙවැනි හැසිරීම් සාම පාගමනේ අරමුණට බාධාවක් විය හැකි බැවින්, පූජ්‍ය පක්ෂයට සහ දූත පිරිසට නිසි ගෞරවය ලබා දෙමින් සාමකාමීව කටයුතු කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී. දැනටමත් දඹුල්ල, මාතලේ සහ මහනුවර වැනි ප්‍රදේශ පසුකරමින් පැමිණෙන මෙම පාගමන ඉදිරි දින කිහිපය තුළ කෑගල්ල සහ කැලණිය හරහා කොළඹට ළඟා වනු ඇත.














