මිචිගන් ප්‍රාන්තයේ ඉදිකිරීම් ආරම්භ කර ඇති ඔරකල් (Oracle) සමාගමට අයත් ඩොලර් බිලියන 16ක දැවැන්ත දත්ත මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සාර්ථකව සපයා ගත් බව එහි සංවර්ධක සමාගම වන Related Digital ආයතනය ප්‍රකාශ කළේය. මෙය ඇමරිකානු කෘත්‍රිම බුද්ධි (AI) යටිතල පහසුකම් පුළුල් කිරීමේ දැවැන්ත පියවරක් ලෙස සැලකේ.
මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය ලබාදීමට ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජන ආයතන රැසක් එක්ව සිටී. ඒ අනුව, Blackstone සමාගමෙන් ඩොලර් බිලියන 2ක ප්‍රාග්ධනයක් සහ PIMCO ආයතනය විසින් මිලදී ගන්නා ලද ඩොලර් බිලියන 10ක බැඳුම්කර ද ඇතුළුව මුළු මූල්‍ය සැලසුම සකස් වී ඇත. OpenAI, Oracle සහ Related Digital යන සමාගම් එක්ව මිචිගන්හි ‘සේලයින්’ (Saline) ප්‍රදේශයේ ඉදිකරන මෙම මධ්‍යස්ථානය ගිගාවොට් 1කට (1 gigawatt) වඩා වැඩි බලශක්ති ධාරිතාවකින් යුක්ත වනු ඇත.
වත්මන් තාක්ෂණික ලෝකයේ මයික්‍රොසොෆ්ට්, ඇල්ෆබට් (Google), ඇමේසන් සහ මෙටා (Facebook) වැනි සමාගම් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය දියුණු කිරීම සඳහා මේ වසරේ පමණක් ඩොලර් බිලියන 650ක පමණ ආයෝජනයක් කිරීමට සැලසුම් කර තිබේ. මෙම පසුබිම තුළ ඔරකල් සමාගමේ මෙම නව දත්ත මධ්‍යස්ථානය AI මාදිලීන් පුහුණු කිරීමට සහ දත්ත පද්ධති කළමනාකරණය කිරීමට අවශ්‍ය ඉහළ තාක්ෂණික පහසුකම් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.














