ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන එක්දින ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරගයේදී අයි.සී.සී. (ICC) විනය පද්ධතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් වන නහිඩා අක්ටර් සහ සර්මින් සුල්තානාට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. දඩ මුදලට අමතරව ඔවුන් දෙදෙනාගේම විනය වාර්තාවලට එක් දඬුවම් ලකුණක් (Demerit Point) බැගින් එක් කර ඇත.
නහිඩා අක්ටර්ට එරෙහිව චෝදනා එල්ල වූයේ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු දැවී ගිය අවස්ථාවේදී ක්‍රීඩාගාරය දෙසට අතින් සංඥා කරමින් ඇයව අපහසුතාවයට පත්කිරීම සම්බන්ධයෙනි. සර්මින් සුල්තානාට දඬුවම් නියම වූයේ ඇය දැවී ගිය අවස්ථාවේදී විනිසුරු තීරණය පිළිබඳ නොසතුට පළ කරමින් සිය පිත්ත පෙන්වා පිටියෙන් ඉවත් වීමට ප්‍රමාද වීම හේතුවෙනි. ක්‍රීඩිකාවන් දෙදෙනාම සිය වැරදි පිළිගෙන ඇති අතර, තෙවන තරගයට පෙර මෙම දඬුවම් ප්‍රකාශයට පත් කර තිබේ. දෙවන තරගය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමට ගෙන ඒමට සමත්ව සිටියි.














