ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර පාසලක් වන කොළඹ බ්‍රිතාන්‍ය පාසල (British School in Colombo), සිය තොරතුරු තාක්ෂණ මෙහෙයුම් පද්ධතිය වඩාත් කාර්යක්ෂම සහ නවීන මට්ටමකට පත් කිරීම සඳහා Motadata ආයතනයේ ‘Unified Observability’ සහ ‘ServiceOps’ තාක්ෂණික විසඳුම් සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ. Connex Information Technologies සහ Microsolutions Information Systems යන ආයතනවල මැදිහත් වීමෙන් සිදු කෙරුණු මෙම ව්‍යාපෘතිය හරහා පාසලේ අධ්‍යාපනික සහ පරිපාලන කටයුතු සඳහා භාවිත වන ඩිජිටල් පද්ධතීන් වඩාත් විධිමත් ලෙස නිරීක්ෂණය කිරීමට සහ කළමනාකරණය කිරීමට අවස්ථාව උදා වී ඇත.
Motadata තාක්ෂණය හඳුන්වා දීම හරහා පාසල් පරිශ්‍රය තුළ ක්‍රියාත්මක වන ඉගෙනුම් වේදිකාවන් සහ තාක්ෂණික පද්ධතීන්හි ඇති වන බාධා කලින් හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමේ (Proactive monitoring) හැකියාව ලැබී ඇති බව කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානී සුජීන්දිරන් චන්ද්‍රමෝහන් මහතා ප්‍රකාශ කළේය. තාක්ෂණය හේතුවෙන් සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට බාධාවක් ඇති වීම වැළැක්වීම සහ පද්ධතියේ පවතින ගැටලු වේගයෙන් නිරාකරණය කර ගැනීම මෙම නවීකරණයේ මූලික අරමුණයි. මීට අමතරව, අනාගත තාක්ෂණික අවශ්‍යතා සැලසුම් කිරීම සඳහා අවශ්‍ය දත්තමය තොරතුරු ලබා ගැනීමට ද මෙම නව පද්ධතිය සහය වනු ඇත.














