රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටකන්ද ගම්මානයේ වැසියන් නිරන්තරයෙන් එල්ල වන අකුණු ප්‍රහාර හේතුවෙන් දැඩි ජීවිත අවදානමකට මුහුණ දී සිටිති. පවුල් 300ක් පමණ වෙසෙන මෙම කඳුකර ගම්මානයේ වැසියන් තේ, කුරුඳු සහ කෝපි වගාවෙන් ආර්ථික වශයෙන් ස්ථාවර මට්ටමක පසු වුවද, ස්වභාවික අකුණු අනතුරු ඔවුන්ගේ ජීවිතවලට නිරන්තර බියක් එක් කර තිබේ. ගම්වාසීන් පවසන පරිදි, ගම්මානයේ අකුණු සැර වැදීමෙන් මේ දක්වා පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පසුගිය අප්‍රේල් 13 වැනිදා ද අකුණු සැර වැදීමෙන් තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇත.
ප්‍රදේශයේ විහාරස්ථානය, පාසල සහ නිවාස රැසකට නිරන්තරයෙන් අකුණු සැර එල්ල වන අතර, පසුගිය 23 වැනිදා විහාරස්ථානයට එල්ල වූ අකුණු ප්‍රහාරයකින් විහාරාධිපති හිමියන් ද රෝහල්ගත කිරීමට සිදු විය. ගම්මානයේ අකුණු ප්‍රහාරයකට ලක් නොවූ නිවසක් නොමැති තරම් බව පවසන වැසියන්, තමන්ට අකුණු සන්නායක පද්ධතියක් සවිකර දෙන ලෙස බලධාරීන්ගෙන් වසර ගණනාවක සිට ඉල්ලා සිටියද මෙතෙක් ඊට නිසි විසඳුමක් ලැබී නොමැත. තම ජීවිත හා දේපොළ ආරක්ෂා කර දීම සඳහා කඩිනම් මැදිහත්වීමක් සිදු කරන ලෙස පිටකන්ද ගම්වැසියෝ බලධාරීන්ගෙන් යළිත් ඉල්ලා සිටිති.














