‘Clean Sri Lanka’ වැඩසටහනට සමගාමීව ‘Dream Destination’ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ කටයුතු අවසන් කර මගී ජනතාව වෙත විවෘත කිරීම අද (25) පෙරවරුවේ සිදු විය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.
රුපියල් මිලියන 35ක පිරිවැයකින් සිදුකළ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අක්බාර් බ්‍රදර්ස් (Akbar Brothers) සමාගම මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මස හයක කාලයක් පුරා සිදුකළ මෙම නවීකරණයේදී දුම්රිය ස්ථානයේ ඓතිහාසික වටිනාකමට හානි නොවන පරිදි ප්‍රධාන ගොඩනැගිල්ල, 5 සහ 6 වන වේදිකාවල සනීපාරක්ෂක පහසුකම් සහ පරිසර අලංකරණ කටයුතු නිම කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කළේ, මෙවැනි පොදු දේපොළ සුරක්ෂිතව රැකබලා ගැනීම පුරවැසි වගකීමක් බවයි. පසුගියදා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට සිදුකළ හානිය හමුවේ මතු වූ ජනතා විරෝධය රජයට විශාල ශක්තියක් වූ බව සිහිපත් කළ අමාත්‍යවරයා, ජාතික සම්පත් විනාශ කරන්නන්ට එරෙහිව සමාජය පෙළ ගැසිය යුතු බව ද සඳහන් කළේය. මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














