මහා භාණ්ඩාගාරය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශ්වයක ගිණුමකට බැරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ අදාළ කාරක සභාවේ සභාපතිත්වය සහ බහුතර සාමාජිකත්වය විපක්ෂයට හිමිවිය යුතු බවයි.
මෙම මූල්‍ය අස්ථානගතවීම පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවෙන් සහ ජනතාවගෙන් වසන් කර ඇති බවට රජයට චෝදනා කළ විපක්ෂ නායකවරයා, වරද නිලධාරීන් මත පටවමින් අභ්‍යන්තර පරීක්ෂණ පැවැත්වීම පක්ෂග්‍රාහී ක්‍රියාවක් බව ද පෙන්වා දුන්නේය. විනිවිදභාවයෙන් යුත් ස්වාධීන පරීක්ෂණයක් හරහා පමණක් සත්‍ය අනාවරණය කරගත හැකි බවත්, ඩොලර් මිලියන 2.5ක වැනි විශාල මුදලක් අහිමිවීම සම්බන්ධයෙන් රජය වගකීම භාරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














