ඉරානය සමඟ සාම සාකච්ඡා සඳහා පකිස්ථානයට යාමට සූදානම් වූ සිය නියෝජිත පිරිසේ ගමන අවලංගු කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Fox News නාලිකාව වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දී තිබේ. එහිදී ඔහු අවධාරණය කළේ කිසිදු ප්‍රගතියක් නැති දේවල් ගැන සාකච්ඡා කිරීමට සිය නිලධාරීන් පැය 18ක දීර්ඝ ගුවන් ගමන්වල යෙදීම තවදුරටත් අවශ්‍ය නොවන බවයි.
“මම මගේ අයට කිව්වා, ඔවුන් යන්න සූදානම් වෙලයි හිටියේ, ඒත් මම කිව්වා ‘එපා’ කියලා. පැය 18ක් පියාසර කරලා එතනට ගිහින් නිකන් වාඩි වෙලා කිසිම තේරුමක් නැති දේවල් ගැන කතා කරන්න මම ඉඩ දෙන්නේ නෑ,” යනුවෙන් ජනාධිපතිවරයා පවසා ඇත. සියලු බලතල සහ වාසිදායක තත්ත්වයන් ඇමෙරිකාව සතු බවත්, ඉරානයට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක තමන් අමතන ලෙසත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ප්‍රකාශයත් සමඟ ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර්ගේ පකිස්ථාන සංචාරය නිල වශයෙන් නතර වී තිබේ. ඉරාන විදේශ අමාත්‍යවරයා සිය යෝජනා ඉදිරිපත් කර පකිස්ථානයෙන් පිටව ගිය මොහොතක ට්‍රම්ප් විසින් ගනු ලැබූ මෙම දැඩි තීරණය නිසා සාම සාකච්ඡාවල අනාගතය පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් ධවල මන්දිරයෙන් කළ විමසීමේදී ඔවුන් ද ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය තහවුරු කර තිබේ.













