ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර පවතින සටන් විරාමය දැඩි අර්බුදයකට ලක් කරමින්, දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති බව ලෙබනන් පුවත් සේවා වාර්තා කරයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කළ බව ප්‍රකාශ කර තිබුණද, දෙපාර්ශවය අතර ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබේ. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ හිස්බුල්ලා ඉලක්ක වෙත “ප්‍රබල ලෙස” පහර දෙන ලෙස එරට හමුදාවට උපදෙස් දී ඇති බවයි.
ඊශ්‍රායල හමුදා පවසන්නේ හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් දකුණු ලෙබනනයේ ස්ථාන කිහිපයක පිහිටි රොකට් විදින යන්ත්‍ර සහ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි. විශේෂයෙන්ම හිස්බුල්ලා සංවිධානයේ ප්‍රභූ ‘රෙඩ්වාන්’ (Radwan) බලකායට අයත් මධ්‍යස්ථාන වෙත ද ප්‍රහාර එල්ල වී තිබේ. මෙම උණුසුම් තත්ත්වය හමුවේ දකුණු ලෙබනනයේ ලිටානි නදිය (Litani River) ආසන්න ප්‍රදේශවලින් බැහැරව සිටින ලෙස ඊශ්‍රායලය එරට වැසියන්ට නැවතත් අනතුරු අඟවා ඇත.














