ඕමාන් සංචාරය නිමා කර රුසියාව බලා යාමට පෙර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි (Abbas Araghchi) යළිත් පාකිස්තානයට පැමිණීමට නියමිත බව ඉරාන රාජ්‍ය මාධ්‍ය (IRNA) වාර්තා කරයි. ඉරාන දූත පිරිසෙන් කොටසක් යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තාවකාලිකව ටෙහෙරානය බලා ගොස් ඇති අතර, ඔවුන් අද (ඉරිදා) රාත්‍රියේ ඉස්ලාමාබාද් නුවරදී යළිත් විදේශ අමාත්‍යවරයා සමඟ එක් වීමට නියමිතය.
විදේශ අමාත්‍යවරයා මීට පැය කිහිපයකට පෙර පාකිස්තානයෙන් පිටත්ව ගියද, ඔහු එහිදී පැවැත්වූ සාකච්ඡා “ඉතා සාර්ථක” බව ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත්, වත්මන් යුද අර්බුදය සමනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය රාජ්‍ය තාන්ත්‍රිකව කෙතරම් දුරට අවංකව කටයුතු කරන්නේද යන්න පිළිබඳව තවමත් සැක පවතින බව ද ඔහු අවධාරණය කළේය. දකුණු ආසියානු කලාපය කේන්ද්‍ර කරගනිමින් සිදුවන මෙම හදිසි රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් මැදපෙරදිග සාමය උදා කිරීම සඳහා වන තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇතැයි විචාරකයෝ අපේක්ෂා කරති.














