සෝමාලියානු වෙරළට නාවික සැතපුම් 30ක් පමණ දුරින් යාත්‍රා කරමින් තිබූ ‘Honour 25’ නමැති තෙල් ප්‍රවාහන නෞකාව සන්නද්ධ මුහුදු කොල්ලකරුවන් හය දෙනෙකු විසින් පැහැරගෙන තිබේ. මෙම නෞකාවේ සේවය කරන 17 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය අතර එක් ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව ආරක්ෂක නිලධාරීහු තහවුරු කරති. තෙල් බැරල් 18,500ක් ප්‍රවාහනය කරමින් තිබූ මෙම නෞකාව මොගඩිෂු අගනුවර බලා යාත්‍රා කරමින් තිබියදී බදාදා රාත්‍රියේ මෙම පැහැර ගැනීමට ලක්ව ඇත. ‘ෂිප්ඇට්ලස්’ වෙබ් අඩවියට අනුව, මෙම නෞකාව පෙබරවාරි 20 වන දින සෝමාලිලන්තයේ බර්බෙරා වරායෙන් පිටත්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස්, අප්‍රේල් 2 වන දින හෝමූස් සමුද්‍ර සන්ධිය අසලින් යළි මොගඩිෂු බලා ගමන් ආරම්භ කර තිබේ.
මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ පවතින නෞකාව මේ වන විට සාෆුන් සහ බන්ඩර් බෙයිලා ධීවර නගර අතර සෝමාලියානු වෙරළට ආසන්නව නැංගුරම් ලා ඇත. නෞකාවේ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනා අතර පකිස්ථානුවන් 10 දෙනෙකු, ඉන්දුනීසියානුවන් 4 දෙනෙකු, ඉන්දියානුවෙකු, ශ්‍රී ලාංකිකයෙකු සහ මියන්මාර ජාතිකයෙකු සිටින බව වාර්තා වේ. ඉරාන යුද්ධය හේතුවෙන් සෝමාලියාවේ පෙට්‍රල් මිල දැනටමත් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති පසුබිමක මෙම පැහැර ගැනීම එරට වැසියන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබේ. 2011 වසරෙන් පසු ජාත්‍යන්තර මැදිහත්වීම් මත සෝමාලියානු මුහුදු කොල්ලකෑම් අවම මට්ටමක පැවතියද, මෑත වසරවලදී මෙම තත්ත්වය නැවතත් උත්සන්න වෙමින් පවතී.
















