පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා හෙට (26) පෙරවරුවේ ප්‍රංශය බලා පිටත්ව යෑමට නියමිතය. ඒ ප්‍රංශයේ ලියෝන් නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර පොලිසිය (INTERPOL) විසින් සංවිධානය කරනු ලබන පළමුවන මහජන සන්නිවේදනය උදෙසා වූ ගෝලීය සම්මේලනයට සහභාගී වීම සඳහාය. මෑත කාලීනව මෙරට පැනනැගුණු ආපදා තත්ත්වයන්හිදී ශ්‍රී ලංකා පොලිසිය මහජන ආරක්ෂාව සහ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව ඔහු එහිදී විශේෂ දේශනයක් පවත්වනු ඇත.
මෙම සම්මේලනය 2026 අප්‍රේල් මස 28 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වෙන අතර, මෙවැනි ජාත්‍යන්තර පොලිස් සම්මේලනයක විශේෂ දේශනයක් සඳහා ආරාධනා ලැබූ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම මාධ්‍ය ප්‍රකාශකවරයා වන්නේ ද ෆෙඩ්රික් වුට්ලර් මහතාය. මෙය ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකා පොලිසිය ලැබූ සුවිශේෂී ඇගයීමක් ලෙස සැලකේ.
















