රටේ ආර්ථිකයේ ස්ථාවරත්වය රඳා පවතින ප්‍රධානතම අපනයන ක්ෂේත්‍ර ද්විත්වයක් වන ඇඟලුම් සහ තේ කර්මාන්තවලින් ලැබෙන විදේශ විනිමය ආදායම, මේ වසරේ මුල් කාර්තුව තුළදී සැලකිය යුතු මට්ටමකින් කඩා වැටී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ නවතම දත්ත මගින් අනාවරණය වී තිබේ. ඉකුත් 2025 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලසීමාව සමඟ සැසඳීමේදී, මේ වසරේ එම කාලසීමාව තුළ ඇඟලුම් සහ රෙදිපිළි මෙන්ම තේ අපනයනයෙන් දේශීය ආර්ථිකයට එක් වූ මුළු ආදායම මෙලෙස අඩුවී ඇත්තේ සමස්ත ආර්ථිකයටම භයානක අනතුරු ඇඟවීමක් කරමිනි.
සිදුව ඇති විනාශයේ බරපතලකම ඉලක්කම් මගින් මනාව පැහැදිලි වේ. පසුගිය වසරේ මුල් මාස තුනේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,383 ක් වූ ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම, මේ වසරේ එම කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1,272 ක් දක්වා පහත වැටී ඇති අතර, තේ අපනයන ආදායම ද ඇමරිකානු ඩොලර් මිලියන 370 සිට 351 දක්වා අඩුවී ඇත. මෙයට අමතරව, රබර් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු සහ සුගන්ධ තෙල්, ඛනිජ තෙල් නිෂ්පාදන වැනි අනෙකුත් ප්‍රධාන අපනයන ක්ෂේත්‍රවලින්ද ලැබෙන විදේශ විනිමය ආදායම පසුගිය වසරට වඩා මෙවර කඩා වැටී තිබීම ගැටළු සහගත තත්ත්වයකි.
කෙසේ වෙතත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, මේ වසරේ මුල් කාර්තුව තුළ මෙරට මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 4,308 ක් වන අතර, එය 2025 වසරට සාපේක්ෂව සියයට 2 ක සුළු වර්ධනයක් බවයි. ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර කඩා වැටී ඇති පසුබිමක, සමස්ත ආදායම ඉහළ යාම පිළිබඳව පරස්පර විරෝධී තත්ත්වයක් පැන නැගුණද, විදේශ විනිමය උල්පත් වියළී යාම රටක පැවැත්මට එල්ල වන බරපතල අභියෝගයක් බැවින්, එය සුළුවෙන් තැකිය නොහැකි කරුණකි. අපගේ ආර්ථිකයේ පදනම ශක්තිමත් කිරීමට කඩිනම් විසඳුම් අවශ්‍ය වන්නේද?














