2025 නොවැම්බර් මාසයේ ඇති වූ දරුණු ආපදා තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් නායයාමට ලක්වූ උඩරට දුම්රිය මාර්ගය, මාස කිහිපයක් ගතවී ඇතත් තවමත් පිළිසකර නොකිරීම හේතුවෙන් දැඩි ලෙස වල් බිහිවී පවතී. මේ හේතුවෙන් කොළඹ සහ මහනුවර අතර දුම්රිය ධාවනය තවමත් ඇණහිට ඇති අතර, දුම්රිය මග ප්‍රදේශ කිහිපයකදීම සොයාගත නොහැකි තරමට කැලෑවෙන් වැසී ගොස් තිබේ.
විශේෂයෙන්ම බලන සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර පිහිටි අංක 08 දරන බිංගෙය ආසන්නයේ දුම්රිය මාර්ගය මුළුමනින්ම වල් බිහිවී ඇති අයුරු දක්නට ලැබෙන අතර, එමගින් දුම්රිය යටිතල පහසුකම් වේගයෙන් විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මාර්ග නඩත්තු අංශයක් සහ ඒ සඳහා වැටුප් ලබන සේවක පිරිසක් සිටියද, අවම වශයෙන් මෙම මාර්ගය එළිපෙහෙළි කිරීමටවත් බලධාරීන් පියවර නොගැනීම ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.
මෙම ඓතිහාසික දුම්රිය මාර්ගය තවදුරටත් විනාශ වීමට ඉඩ නොදී, කඩිනමින් නඩත්තු කටයුතු ආරම්භ කර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කරන ලෙස බලන සහ ඉහළ කෝට්ටේ අවට පදිංචි ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.














