ජාත්‍යන්තර සාමය සහ සහජීවනය තේමා කරගනිමින් පැවැත්වෙන “ඒහි පස්සිකෝ” (Walk for Peace) සාම පාද යාත්‍රාවේ 06 වන දිනය වන අද (27), එම පිරිස මහර ප්‍රදේශයට ළඟා වී තිබේ. වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය අද උදෑසන යක්කල අබේසේකරාරාම විහාරස්ථානයෙන් සිය ගමන ආරම්භ කළහ.
මහර ප්‍රදේශයට ළඟා වූ පාද යාත්‍රාවට සහභාගී වන මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානමය පින්කම මහර ජනාධිපති විද්‍යාලයේදී සංවිධානය කර තිබුණි. ඒ සඳහා ප්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.
මහරින් නික්මෙන පාද යාත්‍රාව අද පස්වරුවේ කැලණිය රජමහා විහාරස්ථානය වෙත ළඟා වීමට නියමිතය. අද රාත්‍රී කාලයේදී මහා සංඝරත්නය එහි විවේක ගන්නා අතර, එහිදී විශ්වවිද්‍යාල සිසුන් සහ දහම් පාසල් දරුවන් සමඟ විශේෂ ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.
මෙම පාද යාත්‍රාව හෙට (28) පෙරවරුවේ කැලණියෙන් ආරම්භ වී කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතය. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රාජ්‍ය උත්සවය සමඟින් මෙම සත්දින පාද යාත්‍රාව නිල වශයෙන් නිමාවට පත් වනු ඇත.














