මෙරට තුළ සරම්ප (Measles) රෝගය පැතිරීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම වෛද්‍යවරුන් වෙත උපදෙස් දී තිබේ. සැකකටයුතු රෝගීන් පිළිබඳව වහාම ජාතික නිරීක්ෂණ පද්ධතිය හරහා දැනුම් දෙන ලෙස අමාත්‍යාංශය අවධාරණය කරයි.
වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ උණ සමඟ සමේ පලු හෝ බිබිලි (Rashes) ඇති රෝගීන් පිළිබඳව වහාම සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළ යුතු බවයි. පෞද්ගලික රෝහල්වලට එවැනි රෝගීන් පැමිණෙන්නේ නම් වැඩිදුර ප්‍රතිකාර සහ නිසි පසු විපරම් සඳහා ඔවුන් රජයේ රෝහල් වෙත යොමු කරන ලෙස ද වෛද්‍යවරුන්ට උපදෙස් දී ඇත.
රෝගය වැළැක්වීමේ වඩාත් ඵලදායී ක්‍රමය එන්නත්කරණය බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මාස 9ත් අවුරුදු 3ත් අතර දරුවන් අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන තිබිය යුතු අතර අවුරුදු 3ත් 15ත් අතර දරුවන් එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කර තිබිය යුතුය.
පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසු මෙරටින් සරම්ප රෝගීන් වාර්තා නොවූ අතර පසුගිය මාසයේදී රෝගීන් දෙදෙනෙකු අලුතින් වාර්තා වී තිබේ. කෙසේ වෙතත් මෙම රෝගීන් දෙදෙනාටම රෝගය වැළඳී ඇත්තේ විදේශයකදී බවට සෞඛ්‍ය බලධාරීන් හඳුනාගෙන ඇත. උණ සමඟ සමේ බිබිලි මතු වන්නේ නම් ප්‍රමාද නොවී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














