ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය විසින් විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවීමට උත්සාහ කළ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද (27) කොළඹදී විරෝධතා කිහිපයක් පවත්වන ලදී. මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවක් බවට සැක කෙරෙන මෙම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් රජයට සිය විරෝධය පළ කර සිටියි.
සර්වජන බලය සංවිධානය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද පෙරවරුවේ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය ඉදිරිපිටදී පැවැත්විණි. අදාළ මුදල් මංකොල්ලය සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවත් මේ පිළිබඳව වහාම විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පවත්වා මහජන මුදලට සිදුවූ දේ හෙළි කළ යුතු බවත් විරෝධතාකරුවෝ මෙහිදී අවධාරණය කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද මෙම සිදුවීමට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිටදී අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය. මීට අමතරව “අරගලයේ පුරවැසියෝ” සංවිධානය විසින් ද මහ බැංකුව ඉදිරිපිටදීම තවත් විරෝධතාවක් පවත්වමින් වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.
මෙම අර්බුදය හමුවේ රජය සිය ස්ථාවරය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනම් කරන ලෙස විපක්ෂ නියෝජිතයෝ දිගින් දිගටම බලකර සිටිති.














